තිනිකම වරෙන් ඉදිකඩ පැන
මං නිදි පැදුරේ
පැල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි
රකින්න
දොලේ හඩට උණ පදුරේ
වැනියන් මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උල
ලේනෝ හඩා යන්න
මගේ තනිය ලඟට වරෙන්
තුරුලුවෙලා නිදා ගන්න
කාටත් එකට උණුහුම දෙන ඉර
පිපුනෙ ඉරිමාවක
මගේ සතුට පෑල දොරෙන් යන්න
ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුම ඉහේ
පිපි සුසුම් මල්යායක
හිතේ දුකට දෑස හඩයි කඳුලු හලා ගංගාවක
මෙම ගීතය සුනිල්
එදිරිසිංහයන් ගායනා කළත් පද රචකයා කවුරුන්ද යන්න මම නොදනිමි. නමුත් ඔහුගේ පදමාලාවේ
ඇති සරල බවේ විසිතුරුබව සියක් වාරයකට වඩා මා ඇසීමට පෙළඹ වීය.
සුනිල් එදිරිසිංහයන්ගේ
අපූර්ව හඩින් ඔපමට්ටම් වූ පද මාලාව මසිත තුළ ඇති කළ ප්‍රහර්ශය මෙලෙස ලියා තබමි.
ගැමි ජීවිතය දුක්ගැහට
වලින් පිරී ඇත. ගොවියා කය වෙහෙසවා දහඩිය වගුරුවා දවස පුරා වෙහෙසෙයි. ගතේ පීඩාවට
හුදකලාවේ හා විරහවේ වේදනාව එක් වූ විට ඇති වන ඉච්ඡා භංගත්වය අතිශය ප්‍රබලය.
අඳුර ගලා ගෙන ඒ
දවසේ මෙහෙය අවසන් වී නින්දට වැටෙන්නට වේලාව පැමිණ ඇත. කසා සලු ඇතිරූ සිරියහනක්
නොමැති වුවත් පිල ගත සුවපත් කිරීමට ඕනවාටත් වඩා ප්‍රමාණවත් ය.
පිලේ පහන නිව්වා මං
ගොම්මං අඳුරේ
තිනිකම වරෙන් ඉදිකඩ පැන
මං නිදි පැදුරේ
කථකයා නින්දට යන්නේ
ගොම්මනේ ම ය. ගතේ වේදනාව නොව හිතේ වේදනාව එලෙස වේලසනින්ම නිදිපැදුර සොයා යන්නට
කථකයාට අණ කරයි. පිලේ දිගා වී ඉදිරිය බැලූ විට කඩුල්ල පෙනේ. අදුර තවමත් තම ආධිපත්‍ය
තහවුරු කරගෙන නැත. කෙමෙන් අදුර ගලයි. .අඳුර සංකේතවත් කරන්නේ
අපේක්ෂා භංගත්වය යි; පරාජය යි. නිදි පැදුරට ගොස් පුරුදු පරිදි නම් තමාට උණුසුම
දෙන්නට වෙනදා ඇරයුම් ලබන්නේ තම සොදුරියයි. දැන් ඒ ඇරයුමට කන් දීමට ඇය නොමැත. එම
නිසා නිදිපැදුරට ඇරයුම් ලබන්නේ තනිකමයි. හද පෙලන තනිකම කීමට මෙම වචන කොතරම් සමත්
ද?
පැල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි
රකින්න
දොලේ හඩට උණ පදුරේ
වැනියන් මට බලා ඉන්න
හද මෝදුවෙමින් පවතී. සීතල
සුළග ඇග දැවටෙයි. සීතල යනු ආශාව අවුලුවන්නකි. වෙනදා සීතලට තුරුලු වන්නට තම සොදුරිය
ලඟ සිටියා ය. එම නිසා සීතල වැඩි වන්නට වැඩි වන්නට එය සතුට ගෙන ආවේය. අද ඒ
සීතලම කුරිරු වේදනාවක් ගෙන ඒ. මේ සීතල තනිවම දරා ගැනීමට නොහැකිය. සීතල තමා හැරගිය
සොදුරියගේ උණුහුම පිළිබඳ මතකය අවදි කරයි. වෙනදා සඳ පෑයූ රාත්‍රියේ
ඇය සිය ගතට තුරුළු වී හාත්පස චමත්කාරය රසවිදි ආකාරය කථකයා කදුලු අතරින් සිහිපත්
කරයි. ඒ අනුව සැබවින්ම සීතල හඳ පැමිණ ඇත්තේ තනි රකින්නට
නොව තනිකම තව තවත් මතක්කර දීමටයි.
අසලින් දොළ ගලා යයි. නිසල
පරිසරයේ දොළ ගලන හඩට උණ පදුර සුළගට වැනෙමින් තවත් අපූරුවක් එක් කරයි. එදා මේ
සුන්දර පරිසරය සොදුරිය සමග ගත කරන ආනන්දනීය රාත්‍රිය හැඩ කළේය. අදත් ඒ ආකාරයෙන්ම
දොළ පහර ගලා යයි. උණ පදුර සුළගට නැළවෙයි. නමුත් ඔවුන් නොදන්නා කරුණ නම් එදා කථකයා
ළග සතුට ගෙන දුන් සොදුරිය අද ඔහු හැර ගොස් ඇති බවයි. කථකයාගේ වේදනාව කොරම්ද යන්න
ඔහු උණ පදුරට තමාට බලා සිටින්නට වැනියන් ලෙස කරන ආරාධනයෙන් පෙනේ.වෙනදා බලා
සිටින්නට තම සොදුරියගේ හුරතලය, දේහ ලාලිත්‍යය තිබුණි. අද ඔහු නෙත් මානයේ එම
සුන්දරත්වය නොමැත.
කාගෙත් දුකට හූමිටිලන උල
ලේනෝ හඩා යන්න
මගේ තනිය ලගට වරෙන්
තුරුලුවෙලා නිදා ගන්න
උලලේන මූසලකම ගෙන එන බව
ගැමියා විශ්වාස කරයි. එය අතිශය අමිහිරි හඩකි. ජීවිතය සම්පූර්ණයෙන්ම පරාජය වී ඇති
බව සිතන කථකයා උලලේනාට දෙන නිර්වචනය අපූරුය. හූමිටි තැබීම යනු යමක් අනුමත කිරීමයි.
ඒ අනුව තමා විදින දුක වෙනුවෙන් හඩන ලෙස උලලේනාගෙන් කථකයා ඉල්ලා සිටී. නැවත වතාවක්
තම තුරුලට ඇරයුම් කරන්නේ තනිකමටයි. ගත විඩාපත් වී පැමිණි එදවස ගත නිවා ලන්නට ඇය ළග
සිටියා ය. නමුත් අද ඇය නොමැතිව ජීවිතය කොතරම් පීඩාකාරී දුක්ඛිත එකක් ද යන්න මේ
පදවලින් අපට කියා සිටී.
කාටත් එකට උණුහුම දෙන ඉර
පිපුනෙ ඉරිමාවක
මගේ සතුට පෑල දොරෙන් යන්න
ගියේ හැන්දෑවක
උදෑසන පිපෙන ඉර සියලු
දෙනාට උණුසුම ලබා දේ. හැන්දෑවට තමාට පමණක් උණුසුම දීමට තම සොදුරිය තමා ළග සිටියා ය.
නමුත් ඒ සොදුරිය තමා හැර දා හොර රහසේම අතහැර ගියා ය. ඇය සමග ගියේ ඇය පමණක් නොව තම
ජීවිතයේම සතුට ඇය සමග ගිය බව කථකයා කියා සිටී. ඒ අනුව කථකයාගේ ජීවිතයේ සතුට රැදී
තිබුණෙ ඇය මතය. ඇය නොමැති ජීවිතයක ඔහුට සතුටක් නොමැත.
බොල් ඉපනැලි පුසුම ඉහේ
පිපි සුසුම් මල්යායක
හිතේ දුකට දෑස හඩයි කදුලු
හලා ගංගාවක
බලන්න මේ පද පෙළෙ අපූරුව.
කථකයාගේ ජීවිතයම සුසුමක් බවට පත් ව ඇත. ඔහු සුසුම් ලනවා මිසක් වෙන කිසිවක් නොකරයි.
බොල් ඉපනැල්ල හිස්බව මිසක් වෙනත් කිසිවක් අර්ථවත් නොකරයි. පුසුම යන වචනය යොදා
ගැනීම නිසා මෙම පදමාලාවට ලැබෙන අව්‍යාජ බව මනරම් ය. ගැමියාගේ මුවින් පිටවන හැගීම ම
අපට දනවන්නට එය සමත්ය. ජීවිතයම කඳුලක් වී ඇති බව අවසානයේ
ඉතා සරලවම නමුත් අතිශය ප්‍රබල ලෙස රචකයා කියා ඇත.
ගැමි ජීවිතයට අප ගෙන
යන්නට සමත් මේ පද මාලාවට එක් වන සංගීතය හා සුනිල් එදිරිසිංහයන්ගේ හඩ විරහව කොතරම්
තීව්‍ර කරයි ද යන්න ගීතයට සවන්දෙන විට මනාව පසක් වේ.